Monday, July 31, 2017

සිංහල සාහිත්‍ය උදෙසා භික්ෂුවගේ දායකත්වය.....01


සාහිත්‍ය දුර ඈතය.එහි ආරම්බක අවස්ථාව කවදා කෙසේ සිදුවිනිදැයි නිශ්චිත කොට හදුනාගැනීමෙහිලා මා සමතෙකු නෙවෙමි.

ලෝක සාහිත්‍ය තුල යම් අවබෝධයකින් කටයුතු කිරීම පමණක් වටී යැයි මා නිතර සළකමි.

ශ්‍රී ලාකේය සාහිත සළකුණෙහි ඉදිරියෙන්ම සිටින්නේ භික්ෂූන් වහන්සේයැයි අවිවාදාත්මක පිලිගත යුතු අවස්ථාවක මාගේ ලියැවිල්ල කෙසේ වේදැයි ඔබම අවසනෙහි තීරණයකට එලැඹෙන්නැයි ආරම්බයෙහිම පවසමි.
සිංහල සාහිත්‍ය නඟාසිටුවීමට බෞද්ධ භික්ෂුවගේ දායකත්වය අප්‍රමාණය.සංවිධිත වූත් මිනිසා ඥාණනය කිරීම උදෙසාත් වූ වඩා උසස් මානවීය ලක්ෂණයන්ගෙන් හෙබියාවූ සාහිත්‍යකි සිංහල සාහිත්‍ය.එකී සාහිත්‍ය සුපෝෂණය කිරීමට ගත් ව්‍යක්ත වූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සිදත් සඟරා ව්‍යාකරණ ග්‍රන්ථය, සද්ධර්ම රත්නාවලිය,සද්ධර්මාලංකාරය,වැනි ග්‍රන්ථ ඉදිරියෙහි ලා සැලකිය යුතු වන්නේ අනෙකක් නිසා නොව තව දුරටත් සිංහල සාහිත්‍ය උගෙනීමෙහිදී අප අධ්‍යයනය කරන්නේ ඉහත කී පත පොතම බැවිනි.
සාහිත්‍ය යනු මිනිසා ජීවත් කරවන්නකි.මිනිසා යහ මගෙහි යොමු කරවමින් මිනිසාට මඟ නොමග තම චින්තන ශක්තිය තුලින් හෙළි පෙහෙළි කර ගැනීමට ඉඩ හසර වෙන් කරනුයේ සාහිත්‍යයි.තම බුද්ධිමට්ටම කෙතරම් පහත් මට්ටමක පැවතියද සාහිත්‍ය හැදෑරීමේදී මිනිසාට තම නිදහස් බව නිවහල් බව හා මිනිසාගේ මිනිස්කම පිළිබදව යම් කියැවීමකට ඒමට හැකිය.
ධර්මසේන හිමියන් රචනා කරන සද්ධර්ම රත්නාවලිය දහම් ගද්‍ය එවැන්නකි.එය එකල මිනිසාට ඉතා සරල බස් වහරක් හා උපමා උපමේයන් භාවිත කරමින් උන් වහන්සේ රචනා කරන්නේ අහිංසක සැදැහැවතුන්ගේ දැනුවත් බාවය පිණිසමය. අති සෞන්දර්යාත්මක චින්තනමය වටපිටාවක් මිනිසා ඉදිරිපිට මවා පාමින් තම සාහිත්‍ය කාර්යෙහි නියැලීම එකළ සාහිත්‍යයේ යෙදුන යතිවර පරපුරේ විශේෂත්වයකි.

සාහිත්‍ය යුග වශයෙන් හැදෑරීමේදී එම යුගවල ඉදිරියෙන්ම සිටිනුයේද භික්ෂු සංස්ථාවයි.එසේම ගිහි පරපුරේ සාහිත්‍ය කෘතීන් වලටද බහුල වශයෙන් උන් වහන්සේලාගේ සාහිත්‍යයේ ලක්ෂණ පිළිඹුබු වීම මෙහිදී කැපී පෙනෙන්කි."ගද්‍යය සාහිත්‍යයේදීත් පද්‍ය සාහිත්‍යයේදීත් එකළ සුවිශේෂීත්වය වූයේ ⁣බුදු සිරිත වැනීමය.බුදුන් වහන්සේගේ ගිහි කාලය,පැවිදි කාලය තුල කල කී දෑ සාහිත්‍යමය වශයෙන් ගොඩනංවාලීම එකල බහුලව සිදු විය.එය සෑම ග්‍රන්ථයකටම ආවේණිකව ඇත්තේ බෞද්ධ භික්ෂුවගේ සාහිත්‍ය මැදිහත්වීමේ ප්‍රබලත්වය නිසාම යැයි කිව හැකිය.
ලාංකේය සංදේශ සාහිත්‍ය ඉතිහාසය හැදෑරීමේදී ඉදිරියෙන්ම පවතින සැළලිහිණි සංදේශය අප සිත් තුල සදා අමරණීයත්වයෙන් පවතින සංදේශ කාව්‍යකි.එහි නිර්මාණකරු වන්නේ තොටගමුවේ සිරි රාහුල හිමියන්ය.තවද තොටගමුවේ හිමියන්ගේ වටා ගෙතුනු සාහිත්‍ය ප්‍රබන්ධයන්ද,ඒ හා විශාල සාහිත්‍ය ප්‍රබන්ධයක් උන් වහන්සේ වටා ගෙතීමට මූලිකත්වය ලැබී ඇත්තේ සාහිත්‍ය හා භික්ෂුව අතර පැවති අවියෝජනීය බැදීම නිසාමය.
වෑත්තෑවේ හිමියන්,වීදාගම හිමියන් වැනි සාහිත යතිවර පරපුර පිළිබද අප වැඩියෙන් කතා නොකල යුතුය.මන්ද උන් වහන්සේලාගේ සාහිත්‍ය පිළිබඳව වැඩි වශයෙන් කතා වී ඇත.එසේම උන් වහන්සේලා එකළ තම අබිමතය පරිදි ගොඩනැගූ මතයන් නූතනය තුල බිදවැටෙමින් පවතින බවද කිව යුතුය.

නූතන සාහිත්‍ය යතුවර පරපුර(අප කතා කලයුතු සාහිත්‍ය පරපුර) එනම් යක්කඩුවේ ප්‍රඥාරාම වැනි වියත් පරපුර යම් සමාජ පෙරලියක් උදෙසා කැප වූ යතිවර පරපුර බව කිව යුතුය.

"හුදු ප්‍රශස්ති වැනුම් ආදියෙන් තොර වී මිනිසාට හිතන්නට යමක් හුරු කල සඟ පරපුර මා ඉතා ඉහලින්ම සලකමි.මන්ද? අද සමාජය බුද්ධියේ අනුගාමිකයන්ය.ඔවුන් වටහාගන්නා වූ සාහිත්‍ය බුද්ධිය මිසක අනෙකක් නොවේ."
යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් රචනා කරන "වන කතා " නම් සාහිත්‍ය කෘතිය සංස්කෘත සාහිත්‍යයේ එන පඤ්චතන්ත්‍ර නම් චම්පු කාව්‍යයේ අනුවර්තනයකි.සමාජයේ විශම ක්‍රියාවලීන් තුල ඇති පුහු බව නිරර්ථක ක්‍රියාවන් නිර්දය ලෙසත් සාහිත්‍යට වඩාත් උචිත සෞන්දර්යාත්මක සංසිද්ධීන් තුලින් විවරණය කරන්නේ උන් වහන්සේය.

එසේම වල්පොල රාහුල හිමියන්ගේ සත්‍යෝදය,භික්ෂුවගේ උරුමය වැනි උසස් සාහිත්‍ය කෘතීන් මිනිසාට සිතන්නට යමක් හුරු කරවන්නේය.
එතැන් පටන් මේ දක්වා වන සාහිත්‍යයේ පැවැත්ම තුල වැදගත් උත්සාහයන් කරමින් නව කතාව, කෙටි කතාව , කවිය ,යන මේ සියළු සාහිත්‍ය කාරණාවලට බලපෑමක් එල්ල කරන සඟ පරපුරේ වියත් හිමිවරු ගණනාවකි
"වීරපොකුණේ උපරතන" හිමියන්ගේ කෘතීන් සැඟවී ගොස් අවසන්ය. 1960 ගන්වලදී සාහිත්‍ය රාජ්‍ය සම්මාන පවා හිමිකරගත් උන්වහන්සේගේ "මං"නමැති නව කතාව අතීශයින්ම ව්‍යක්තය විශාරදය.උන්වහන්සේලාගේ සාහිත්‍ය අධ්‍යයනය නොකිරීමේ පලවිපාක වර්ථමාන සාහිත්‍ය පරපුර විදිමින් සිටියි යනු මගේ හැඟීමයි.
කෝ.ආනන්ද හිමියන්ගේ සාහිත්‍ය භාවිතය නව පරපුරක් බිහිකිරීමට අනුබල දුන් බව නොරහසකි.උන් වහන්සේගේ නව කතා,කවි ඉතා රසවත් සේම වත්මන් පරපුර පල සහිත සාහිත්‍යක උරුමක්කාරයන් බවට පත්කලේ උන්වහන්සේ බව සදහන් කිරීම යුතුකමකි.
ඉන්පසු සාහිත්‍ය බාවිතය තුල නිමග්න වෙමින් කතා කල හැකි සාහිත්‍යමය වටපිටාවක් ගොඩ නගන්නේ බටුවන්ගල රාහුල හිමියන්ය.උන්වහන්සේගේ රාජ්‍ය සම්මාන ලත් නවකතාවක් වන රන් කරඩුවත්,ප්‍රභානී නවකතාවත් මා ආස කරන වර්ගයේ කෘතීන්ය.එසේම "උපන් ලපය "වැනි කෙටි කතා සංග්‍රහත් "අඩසිය කව් ගත"වැනි සාහිත්‍ය කෘතීන් වලින් හෙලි වන්නේ යතිවර සඟ පරපුර සාහිත්‍ය වෙනුවෙන් පෙනී සිටි තැන්ය.

ශ්‍රී ලාංකේය සාහිත්‍ය සඳහා සෑම යුගයකදීම නොනිමි මෙහෙවරක නිරත වූ සඟ පරපුරේ අතිවිශාල සාහිත්‍ය කෘතීන් ගොන්නක් අත්පිට තබාගෙන සිටීමට ශ්‍රී ලංකාවාසීන් වාසනාවන්තයන්ය.
උන්වහන්සේලාගේ සාහිත්‍ය මෙහෙවර ඇගයුම් කල යුතුය.
පඬුපෙව් කසාවතක රැදිය යුත්තේ ප්‍රේමයය,දයාවය,අනුකම්පාවය,සාහිත්‍ය යනු ප්‍රේමයය,දයාවය,අනුකම්පාවය,සිව්රත් සාහිත්‍යත් අතර පවතින අවියෝජනීය වූත් අව්‍යාජ වූත් බැදීම සදාකාලිකය.

ගුරුගොඩ සිරිවිමල හිමි

ප.ලි මෙහිම දිගුවක් ඉදිරියට.....බලාපොරොත්තු වන්න....

1 comment:

  1. මං නං කියන්නේ අපේ රටට කෙලවෙලා තියෙන්නේ මේ සතපහකට වැදගැම්මකට නැති යල්පැන ගිය ආගම් කරපින්නා ගෙන යන නිසා. මේ මිත්‍යා මත ඉවත දමා මනුෂත්වයට, නීතියට, විද්‍යාවට තැන දෙන සමාජයක් ගොඩ නැගුමට අදිටන් කරගමු.

    ReplyDelete