Thursday, December 28, 2017

හිතවත් පත්බේරියේ මුනින්ද වංශ හාමුදුරුවන් වෙත ලියමි


අපේ හිතාදර මුනින්දවංශයෙනි,
මට පුදුමයි. අපි හැමදාම කරේ දෙසැම්බර් අඟ,අගෝස්තු මැද, ඕලෙවල් ,ශිෂ්‍යත්ව,ඒලෙවල්  ලියන ලමයිට බෝධි පූජා කරල බාර ගැට ගහපු එක.
මට මතකයි මම පිරිවෙන් අවසානෙ ලියද්දිත්,ඒලෙවල් ලියද්දිත් මටත් ගිහිං ඔය වගේ බෝධි පූජා බාර තියන්න වුනා.මේ අවුරුද්දෙ අපේ පංසලේ ඒ ලෙවල් කරපු හාමුදු
රුවෝත් කරේ බෝධි පූජා තියන එකම තමයි.දවසක් එයා ඇවිත් මට මෙහෙම කිව්ව
"ඈ සිරිවිමල හාමුදුරුවෝ .... අපි බෝධි පූජා තිබ්බට අපිට තියන්ඩ කව්රුත්ම නෑනෙ නේද" කියල
භික්ෂුවගේ ජීවිතය කියන්නෙ අනුන් සඳහාම කැප වෙච්ච අපූරු නවාතැනක්.සමහර විට ඒක සුන්දරයි.සමහර විට නීරසයි.දායකයන්ගෙයි ලොකු හාමුදුරු ගොල්ලන්ගේ කුණු බැනුම් අහන්ඩයි,මිසක් වෙන ආතල් එකක් මහණ කම ඇතුලෙ ඇත්තෙම නෑ.
ඉතිං අපේ එකෙක් විබාගයක් පාස් වෙනව කියන මටනම් පුදුමයක් නෙමෙයි.මොකද ඇති වෙන්න එහෙම විබාග පාස් වෙනව කැම්පස් යනව හාමුදුරුවරු.හැබැයි අයිලන්ඩ් රෑන්ක් එකක් දාල කැම්පස් ගොඩ වදින ඔබ වහන්සේ ගැන මට පුදුම ආඩම්බරයි.මට මේක දැනුන ගමන් අදහස් ගොඩක් ආව.
මොන අයිලන්ඩ් රෑන්ක් දාල හිටියත් කැම්පස් ගිහිං ලෝ කරන්ඩ ඔබ වහන්සේට බෑ..... (කළු ලෝගුව දාන්න බෑනෙ)බෞද්ධ දර්ශනය ,පාලි, වැනි මොකක් හරි විෂයක් තමයි කරන්න වෙන්නෙ ඒ ගැන ආඩම්බරයකුත් නැතිවාම නෙමෙයි.නමුත් කුණු වෙච්ච අධ්‍යාපන සංස්කෘතියක් ඇතුලෙ  අපිට ලොකු අභියෝගයක් තියෙනව..ඒකත් ජය ගනිමු...



දුක

-------
ඔබ වහන්සේටත් යන්න තියෙන්නෙ අර ජාතික විස්ස විජ්ජාල කියන මෙලෝ අලබෝලයක් නොදන්න හරක් ඉන්න තැනකට (වත්මන්) හිතෙද්ද අප්‍රමාණ දුකක් දැනෙනව.
....
ගුරුගොඩ සිරිවිමල

Friday, October 6, 2017

අද සමරණ ගුරු දි⁣⁣නය

මට මගේ ජීවිතේ හමුවුනු හැම මිනිසෙක්ම ගුරුවරයෙක්.ඒ මිනිස්සු හැම කෙනෙක්ම මොනවාම හරි උගන්නල ගියා........ඒ හැම ගුරුව⁣රයෙක්ටම මම පාදාභිවන්දනයෙන් හැමදාම නමස්කාර කරනව.ගුරු දිනය කියල දවසක් වෙන් කිරීමම ගුරුවරයෙක්ට කරන බරපතල අපහාසයක්.

බුද්ධ ශාසනයේ පැවිද්ද ලබාගත් සැරියුත් මහරහතන් වහන්සේගේ චරිත කතාවට එහා මම කවමදාවත් දැකල නෑ ශිෂ්‍යයෙක් ගුරුවරයෙක්ට ගෞරව කරනව.ඒ තරම්ම ගුරු ගෞරවයක් තිබුන කෙනෙක් තමයි සැරියුත් මහ රහතන් වහන්සේ.
'"උන් වහන්සේ තමන්ට බුදු හාමුදුරුවෝ හමුවට යන්නයි කියල උපදෙස් දීපු තමන්ගේ දැනුමට වඩා බාල අස්සජි හාමුදුරුවන්ට උදේ හවා වැන්ද.උන් වහන්සේ සැතපෙන පැත්තට පා හැර සැතපුනේවත් නෑ කියල උන් වහන්සේගේ චරිත කතාවෙදි සඳහන් වෙනව.

මේ ලෝකෙ මට හම්බවුන හැම මිනිහෙක්ම මට ගුරුවරයෙක්.

සො මේ ආචරියා ආසි
අස්සජී නාම සාවකො
යස්සං දිසායං වසතී
උස්සීසම්හි කරෝමහං

"මට සතර පද ගාථාවක කෙටෙසක් ඉගැන්වූ අස්සජී නම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කිසියම් දිසාවක වෙසෙත්ද මම එදෙසට හිසලා සැතපෙමි 

උන් වහන්සේම ,

තදහූ පබ්බජිතෝ සන්තෝ
ජාතියා සත්ත වස්සිකෝ
සොපිමං අනුසාසෙය්‍ය
සම්පටිච්ඡාමි මුද්ධනා..

එදිනම පැවිදි වූ සත් හැවිරිදි සාමණේර නමක් වුවත් මගේ වරද කියා මට අවවාද දේනම් මම එය හිස් මුදුනින්ම පිළිගනිමි.

 යනුවෙන් ථේර ගාථාවලදි හරි පැහැදිලිව සඳහන් කරනව.
  උන් වහන්සේ මේ දේවල් ප්‍රායෝගිකවම සිද්ධ කරපු රහත් තෙර නමක්.ඒකට හොදම උදාහරණය තමයි." රාහුල පොඩි හාමුදුරුවන් විසින් තමන්ගේ සිවුර බිම ගෑවි ගෑවි යන වෙලාවෙදි ඒක හදා ගන්න කියල අවවාද කරපු සැනින්ම ඒ සවුරු පොට උස් කරල හදාගත්ත බව සඳහන් වන කතාව.

ඉතින්.....

මාගේ සියළු ගුරුවරුනට නමස්කාර වේවා...!!!!

Friday, September 29, 2017

පුදමි සෙනෙහස අරුමැතී

රැයේ වට වැසි උරණ වී
තෙමූ වැහි බිඳු බර වැඩී
පෙති ළිහී  ගිලිහෙන්න පළමුව
දෙන්න අවසර නික්මෙමී

දෑල ඉර හඳ හිම් නැතී
සිසිල් සෙනෙහැති සෙවනකී
විඩා නිම වූ ගමන කෙළවර
එන්න සතුටින් පිළිගමී

බැඳී විඳි පෙම් සුවඳැතී
අත් නොහැර සිත පැතුම වී
දිනෙක මතුදා  එන්න සකිසඳ
පුදමි සෙනෙහස අරුමැතී

පද රචනය - : KRK මුණසිංහ
සංගීතය  -: දර්ශන වික්‍රමතුංග
ගායනය  -: පවරි අමරසා
                                               
ගීතය අමුතුය.....සියුමැලිය....මනරම්ය....විටෙක හද පාරමින් තෙත් කරමින් ඇමිණූ වාගාලාපයක් සංගීත රස උද්දීපනය තුලින් හඬක් තුලින් ජන මන කළඹවන්නේ නිතැතින්ම රසික හදවත් තුලට සියුම් රිදුමක් එක් කරමිනි. රසිකයාට කියන්නට ඇත්තේ "එ්කනම් මාරයි"කියා පමණය.
මේ ගීය පොඩි සාදුගේ  රසික හදවත නැවත නැවතත් පහුරු ගෑවා යයි කීවොත් මා වඩාත් නිවැරදිය. රචිකාවිය kRk මුණසිංහ නමැතත්තියයි.සළ රූපයකින් පෙන්නනවාට වැඩි කොටසක් අෑ අකුරු කොට ඇත්තේ මහත් වූ සතත්භ්‍යසයක උච්ඡතම අවස්ථාවක් රසිකයා වෙත දායාද කරලමිනි.
විරහ වේදනාවක් මේ තරම් රසවත්නම් මීවිතනම් කුමටදැයි මා ජනතාවගෙන් අසමි.මේ තරම් කටෝර අද්දෑකීමක්, කාන්තාවකගේ අපරිමිත සිතිවිලි දහරාවක් දියාරු වී හුණු වී යන අවස්ථාවකි ප්‍රේමයේ බිඳ වැටුම.සමහර විට එය වැඩි පුරම දැනෙන්නේ ආසියාතික කාන්තාවටය.ඒ ආසියාතික කාන්තාව හැමදාමත් රිදුම් පිරිමදිමින් තෙල් උලමින් සිටිනවා මිසක ඒවා වෙනුවෙන් නැගී හිටින අවස්ථා ඉතා අඩු නිසාවෙනි.නමුදු මෙවැනි අවස්ථාවක් ඉතා රසවත්ව මනා සංයමකින් පෙන්වීමට අප හදුන්වන්නේ නිර්මාණාත්මක බව කියායි.
    ‎   රැයේ වට වැසි උරණ වී
       තෙමූ වැහි බිඳු බර වැඩී
       පෙති ළිහී  ගිලිහෙන්න පළමුව
       දෙන්න අවසර නික්මෙමී
ගීතය ගෙතෙන්නේ අඹු සැමි යුවලක් චිත්ත සන්ථානය අභිමුව රූපණය කරමිනි.රචිකාවියගේ දක්ෂතාවයද එයමය.මේ රචනාවන මටනම් ඉතාමත් සජීවීයැයි කිවහොත් මා වචා නිවැරදි වනු ඇත.නමුත් මෙය දෙවිදියකට අර්ථ නිරූපණය කල හැකිය.ඒ දෙවිදියම කෙසේ උවත් මා මගේත් ඔබේත් පහසුව තකාත් එක් පැත්තක් පමණක් සටහන් කරමි

එක් විදියකින් ගත් කල අඹුසැමි කළහයකි.ඇය එය පෙන්වා දෙන්නේ."රැයේ වට වැසි උරණවී"යනුවෙනි.මේ රන්ඩු සරුවල් කෙතරම් සිදු වූවත් අවසානය වන්නේ කාන්තාවගේ සිත තැලී පෙලී යාමයි.ඒ අවසාන අවස්ථාව දරා ගන්නා කාන්තාව තව දුරටත් තම සැමියා හා රැදී ඉන්නවාද එහෙම නැතිනම් දමා හැර යනවාදැයි තීරණයකට එළැඹෙයි.එය සිදු වන්නේ තමන්ගේ අඩුපාඩුව කිරා මැන බැලීමෙන් පසුවය.තමාට අවාසියකින් තොර වන ලෙසය.ඇය අවසන තම තීරණයට එළැඹෙයි.ඇය එම තීරණයට එන්නේ පොඩි සාදු උඩ කීවා සේම තම වාසියත් අඩුපාඩුත් සලකාගෙනය."තෙමූ වැහි බිදු බර වැඩී" යන්නෙන් එය වඩාත් පැහැදිලිවේ.එනම් තමාට වඩා සැමියාගේ දොසක් දක්නට ඇති බවයි ඇය එය කියා පාමින් උධෘත පාඨ කර ගනිමින් " පෙති ලිහී ගිලිහී යන්න පලමුව- දෙන්න අවසර නික්මෙමී" යනුවෙන් සැමියාගෙන් ඉවත් වීමට අවස්ථාවක් ඉල්ලයි. මේ පෙන්වා දෙන්නේ කාන්තාවකගේ සදාතනික අසරණ බවයි.කාන්තාවක් කෙතරම්නම් සිය කුටුම්භය තුල අණසක පතුරුවා සිටියත් කළකෝලාහලයකදී පරාජිතයි යන්න මොනවට පැහැදිලි කර දෙන්නකි මේ පද රචනය.එය ඉල්වන විදිය ලාලිත්‍යකින් පැවසීම නිර්මාණ කරුවගේ හැකියාව මත තීරණය කරන්නකි.රචිකාවිය තම නිර්මාණ හැකියාව ඉතාමත් හොදාකාරවම පෙන්වන අවස්ථාවකි '""මේ පරිපූර්ණ ගේය පද රචනය"""    
           දෑල ඉර හඳ හිම් නැතී
           සිසිල් සෙනෙහැති සෙවනකී
           විඩා නිම වූ ගමන කෙළවර
           එන්න සතුටින් පිළිගමී

 " වැරදි හදාගෙන නුඹ නැවත එන්න.නැවත මම ඔබව පිලිගන්නම් " යනුවෙන් ඇය පවසයි. පසුගිය දා මුහුණු පොතෙහි ඉතා රසවත් කෙටි කවියක් දින කිහිපයක් තුල සංසරණය විය.ඒ  " වර්ණ රසිකා" නැමැත්තිය ලියන "ආදරේ යනු යන්ට දීමය ආය ආවෙත් ඉන්ට දීමය" යන කවියයි.මේ පද පිංචයද එයට වඩාත් ලගයි කීවොත් මා නිවැරදිය.නමුත් මේ පද රචනාවකම් කෙටි කවියක් තරමටම රසවත් නැත.
දෑල හද හිම් නැතී-සිහිල් සෙනෙහැති හෙවනකී"ඇය ඉල්ලන්නේ මෙවන් හෙවනකී.සැමියකුගෙන් බිරියක් බලාපොරොත්තු වන රසය සැනසීම මෙයයි. ඒ සිසිල් වූ ස්නේහය පුද කරනවානම් පවුල් ජීවිතයක් කෙතරම්නම්  රසවත් වේවිද..? 
"විඩා නිම වූ ගමන කෙළවර
  එන්න සතුටින් පිළිගමී"
මේ සැමියා යන විඩා සහිත වූ ගමන තුල තමාගේ විඩාව නිවුනු පසු එන්න යනුවෙන් ඇය පවසයි.මෙහි යම් දාර්ශනික  තැනක්ද පෙනේ. බුදු දහම පිලිබඳව ලෞකික දර්ශනයක් පෙන්වා දෙන පැරණි නිර්මාණ කරුවන් තම දර්ශනය මෙසේ පෙන්වා දෙයි" කාමය වඩාත් කාමුකව ගත කිරීමෙන්ද කාමය දුරස් කල හැකිය" යනුවෙනි.එය මෙහිදී රචිකාවිය දැන හෝ නොදැන ඒ දර්ශනය තම නිර්මාණයට ඈදා ගන්නා බව මගේ මතයයි. සමහර විටෙක බිරිද පවසන්නේ මෙලෙස විය යුතුය." නුඹ බොහෝ කාලයක් තවත් මේ වැනි දුශ්ඨකම්,කලකෝලාහල කරමින්ම කල් ගෙවා ඇති වූ පසු නැවත හොද ස්වාමි පුරුෂයෙකු වී එන්න

"කෙසේ වූවද මේනම් ඉතා මනරම් ලෙස පද රචනය කෙ⁣රූවකි.
    ‎        
          බැඳී විඳි පෙම් සුවඳැතී
          අත් නොහැර සිත පැතුම වී
          දිනෙක මතුදා  එන්න සකිසඳ
          පුදමි සෙනෙහස අරුමැතී

කිසි ⁣විටෙක හැර නොයෑම බිරිදකගේ වූවද යහපත් පෙම්වතියකගේ වූවද විශේෂ ලක්ෂණයකි.ඒ බව මනාව පෙන්වා දෙන්නකි ගීතයේ අවසාන කොටස.
ඇය නැවත නැවතත් කියන්නේ හොඳ සැමියෙකු වී එන ලෙසයි.  බැඳී විදි පෙම් සුවඳැතී - අත් නොහැර සිත පැතුම වී.පසු කල ගෙවූ සුවදැති පෙම් පැතුම් සිතේ ගුලි කරවාගෙන නැවත තමා කරා එන ලෙසත්.එසේ ආවොත් ඇය තුල ඇති ආලය පුදමි යනුවෙන් පවසයි
          "  දිනෙක මතුදා  එන්න සකිසඳ
              පුදමි සෙනෙහස අරුමැතී "
මේ ගීතයේ රසවත් බව වන්නේ මනා වූ සංයමයයි.තම වේදනාව රිදුම හදවත තුල දරාගනිමින් තම විරහව වෙනුවට තව දුරටත් අාදරය පාමින් සෙනෙහසම ඉල්ලන අයුරු ඉතාමත් රසවත්ය.මනා පරිකල්පනයත් ප්‍රතිභාවත් මුල් කරගනිමින් රචිකාවි⁣යගේ මේ වියමනනම්..අපූරුය. මේ සඳහා සංගීතය තනු නිර්මාණය සිදු කරන්නේ "දර්ශන වික්‍රමතුංග"ය.ඔහුද මනා පරිචයක් ඇති රසික හදවත් කම්පිත කරවන ප්‍රතිභාවකින් යුත් සංගීතවේදියෙකි.පද රචනයට වඩාත් සාධාරණය ඉටු කරමින් ගයන "පවරි අමරසා" ගයන මෙය නම් අපූරුය.

ගුරුගොඩ සිරිවිමල

Wednesday, September 27, 2017

බැළු බැළු අත වියවුලක් ..


 ‍‍‍‍පොඩි සාදුට දැන් ලංකාව එපා වෙලාය.ලංකාව විතරක් නෙමෙයි සාසනෙත් එපා වෙලා කියන්ඩ හේතු කාරණා මහ ගොඩක් තියෙනව.මේව කියලත් බැරි නොකියත් බැරි දේවල්ය.කීවොත් සඟ නසී නොකිව්වෙත් වෙහෙර නසී වැනි තත්වයක් නිසා කියන එකම හොදයි කියා හිතේ

සමාජය,සංස්කෘතිය,ආගම,දහම,ඉතිහාසය,යන සියළු කාරණාවල පරිහානියකට පත්ව ඇති කාලසීමාවක් බොහෝමත් අසීරුවෙන් ගෙවා දමන අවස්ථාවක ලාංකීය ජන විඥ්ඥානය කෙසේනම් සැපක් සතුටක් භුක්ති විදිනේදැයි රටේ පාලක සබාවෙන් අසන්නේ දැඩි කලකිරීමත් හිත් රිදීමත් ඉවසා වදාරනු බැරි තැනය. 

සිල් රෙදි හොරුන් වෙනු⁣වෙන් ජනතාවගෙන් සිඟා කෑවේ රටේ වගකිවයුතු භික්ෂූන් වහන්සේලාය.උගත් පඬිරුවනක් වන ගෞරවනීය මැදගොඩ අබයතිස්ස හාමුදුරුවන් මේ දෙයට මැදිහත් වීමෙන් පෙනී යන්නේ අතීතයේ රට කරවූ මහරජු කෙතරම්නම් භික්ෂු සාසනය ගණිකා සේවයේ  යොදවා ඇත්තද යන්නයි.භික්ෂුවට දේශපානය අතීශයින්ම සුදුසුය.නමුත් ඒ දේශපානලයයි.නමුත් ලංකාවේ ඇත්තේ දේශපාලනයක් නොව මීහරක් පට්ටියක් විසින් මී හරක් පට්ටියක් පාලනය කිරීමට දේශපාලනය යන ටගෟරවනීය නාමය දීම ඉතාමත් වැරදිය. ලංකාවේ සෑම පරිහාණියකට වග කිව යුත්තේ භික්ෂු සංඝරත්නයයි.පෙර අතීතය විමසා බැලීමේදී භික්ෂුව රටේ පරිහානික තත්වයන් වලදී ක්‍රියා කල අයුරු අපේ හාමුදුදුරුවරුන්ටන ඇන ඉගැන්විය යුතු නැත.රටේ පුශ්නයට ආගමිකයන් මැදිහත් විය යුතුය නමුත් ඒ දේ තම ආගමික තත්වයෙන් බැහැර වී කරනවානම් වඩාත් සුදුසුය.

රටේ දේශපාලනික වාතාවරණය නැමැති ලෙඩට අපේ පාලකයන් සහ රට වැසියන් බෙහෙත් කරන්නේ අතීසාරයට අමුඩය ගසනවා වැනි ආකරයටය.ඒකටම හොදම නිදසුන වන්නේ සයිටම් නැමති රෝගයට අපේ අන්තරේ සිසු සිසුවියන්ගේ ක්‍රියාකලාපයයි.ඔවුනුත් දැන් සයිටම් සිසු ගණයටම අයත් වී හමාරය.මාස අටක කාලසීමාව තුල පන්ති නොපවත්වා තමන්ගේ අධ්‍යාපනයට හානි කරගන්නාවූ අහිංසක සිසු දරුවන් පොඩි සාදුගේ හිත උණු වූ අවස්ථා අපමණය.නමුත් මම කියා මොනවා කරන්නද? ඉතිං සිසුවනි නුඹලා මුලින්ම කල යුත්තේ ඉගෙන ගැනීමයි.පාලකයා පත්වී ඇත්තේ රට්ටු සුඛිත කිරීමටය.එතුමන්ලාට ඒ ගැන වගේ වගක් වගක් නැත්නම් ඔබලා සිය දහස් ගනන් ලේ වැගිරිවද පලක් නොවන්නේමය.අමනුෂ්‍යයන් රාජ්‍ය පාලනයට බත් කරගත්තේද උඹලාමය,අපිමය.

නූඹලා නුඹලාගේ අධ්‍යාපන වේල මිඩංඟු කරමින් සටන් වැදුනද නුඹලා හා එක්ව සිටින මහාචාර්ය වරු පඩි ගනිති,වෛද්‍ය වරු පඩි ගනිති.නුඹලාට ලැබුනු දෙයක් නැත.සරසවි සිසුන් උද්ඝෝණ කල යුත්තේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ය.

මා දන්නා පමණින් ලංකාවේ සරසවි වලින් එළියට එන සීයට පංගුවකටවක් නණ ලළ භේදය සහිතව නිවැරදි රචනාවක් ලියා ගන්නට බැරිය.ඒ බව පවසන්නේ ඉතාමත් වගකීමෙනි. කිසිදු දෙයක් නොදන්නා හාල්පාරු ගුරුවරු හැම පාසලකම සිටී.අධ්‍යාපන නිදහස යනු නිවැරදි දේ ඉගෙනීම මිස මුදල් වියදමකින් තොරව අධ්‍යාපනය ලැබීම නොව.ඒ වෙනුවෙන් එක සිසු සිසුවියක්වත් තනිව හෝ පාරට බසින ආකාරයක් මා දැක නැත.තම අධ්‍යාපන අයිතිය යනු නිවැරදි දේ නිවැරදිව ඉගෙනීමයි.පාලක ක්ෂේත්‍රයට ගොටු අල්ල කිසිදු සුදුසු කමක් නැතිව උගන්වන මහාචාර්ය වරු කතිකාචාර්ය වරු අප්‍රමාණය.ඒවා ගැන නුඹලා කතා කරනවානම් නුඹලා සමඟ සිට ගැනීමට මමද සූදානම් බව ආදරයෙන් කියමි.
රෝහින්‍යා සරණාගතයින් ලංකාවට එන්නේ  පිහිටක් පතමින්ය.අපිත් රට රටවලින් පිහිට පතන කාලයක අපි කෙසේ නම්  ඔවුනට පිහිට වෙමුදැයි පොඩි සාදු මේ දවස්වල බර කල්පනාවකය. එකත් එකටම ඔවුන් රටකින් පලවා දමන්නේ ඒ රටට පිලිලයක් වූ නිසාවෙනි.බෞද්ධ රටකින් ත්‍රස්තයන් ලෙස නම් කරමින් පලවා දමන මේ ඇත්තන් ලංකාවට ඇවිත් ලාංකිකයන් සමඟ අත්වැල් බැද ගනීයයි මටනම් සිහිනෙකින්වත් නොසිතෙයි.මුස්ලිම් සමය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති මට මේ සිද්ධිය ගැන යම් අදහසක් ඇත.මේවා ගැන නැවත නැවතත් හාරා අවුස්සන්ට යන්නේ නැත.මන්ද මා ජාතිවාදියෙකු හෝ ආගම් වාදියකු වීමට එතරම් ප්‍රිය නොකරණ බැවිනි.

රටේ බාගයට බාගයක් කුඩු සැපයීම කරන්නේ බදිවුදීන් නැමති මුස්ලිම් ජාතික ඇමතිවරයාය.ඔහු සතොස හරහා ගෙනා කුඩු තොගය එක කන්ටේනරයකින් රේගුවට හසු වූ බව රටම දැනගත්තේය.නමුත් ඒවා දැන් ඉවරය.දුෂ්කර පලාත් වල තරුණ කොල්ලන් ඒවාට ඇබ්බැහි වී තිබෙන ආකාරයද මා දැක ඇත්තෙමි.මේවා බරපතල ප්‍රශ්නය.උත්තර සෙවීමට මා බලධරයකු  නොවන බැවින් ගොළුවත රකිමි.(මුස්ලිම් යහළුවන් මට අපමණය.ඒ අයද මේවාට විරුද්ධ බව මා හොදින්ම දනිමි)

අප මේ පසු කරමින් සිටින්නේ සාසනයේ විපරීත කාලයකි.මහානයක වරුන් දේශපාලන ආතල් ගනිති.භික්ෂු සංඝයාද එසේමය.පසුගිය දා අවසන් වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය පොඩි සාදු තවත් යහළු හිමිවරුන් දෙපලක් සමඟ එළියට එන පොඩි සාදු අත්දකින්නේ අවාසනාවන්ත අද්දැකීමක්ය.ඒ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලීය භික්ෂු දෙනමක් කැට තියාගෙන තම සරසවියේ කලා උළෙලට මුදල් එකතු කරමින් සිටීමයි.මා කළකිරුණද රුපියල් විස්සක් කැටයයට දමා සිනා මුවින් මා එතනින් ඉවත් වෙන්නේ රටේ මහජනයාගේ මුදල් සොරකම් කර බන්දනාගාර ගත කල සොරුන් දෙපලකි බේරා ගැනීමට මුදල් සිගා කෑ භික්ෂූන් සිටින රටක කලා උළෙලකට මුදල් එකතු කිරීමේ වරදක් මට පෙනෙන්නට නොමැති වීමෙනි.
වසර තිහක යුද්ධය හමාරය. නමුදු එය තවමත් ඇත.දෙමළා සිංහලයා සමඟ තවමත් හිත් රිදීම් ඇත.සිංහලයාද එසේමය.ජාතීන් අතර යුද්ධයකින් පසුව මේ එළැඹෙමින් පවතින්නේ ආගමික යුද්ධයකි. 

ආගමික ප්‍රශ්නයට එක මොහොතකින් විසඳුම් දිය හැක්කේ රජයටය.නමුත් ඔවුහු ප්‍රශ්නය දිග් ගස්සමින් මඩිය කර කරගන්නා බවක් පොඩි සාදුට පෙනේ.
    
ගුරුුුුුුුගොඩ සිරිවිමල

                                                           

 

Monday, July 31, 2017

සිංහල සාහිත්‍ය උදෙසා භික්ෂුවගේ දායකත්වය.....01


සාහිත්‍ය දුර ඈතය.එහි ආරම්බක අවස්ථාව කවදා කෙසේ සිදුවිනිදැයි නිශ්චිත කොට හදුනාගැනීමෙහිලා මා සමතෙකු නෙවෙමි.

ලෝක සාහිත්‍ය තුල යම් අවබෝධයකින් කටයුතු කිරීම පමණක් වටී යැයි මා නිතර සළකමි.

ශ්‍රී ලාකේය සාහිත සළකුණෙහි ඉදිරියෙන්ම සිටින්නේ භික්ෂූන් වහන්සේයැයි අවිවාදාත්මක පිලිගත යුතු අවස්ථාවක මාගේ ලියැවිල්ල කෙසේ වේදැයි ඔබම අවසනෙහි තීරණයකට එලැඹෙන්නැයි ආරම්බයෙහිම පවසමි.
සිංහල සාහිත්‍ය නඟාසිටුවීමට බෞද්ධ භික්ෂුවගේ දායකත්වය අප්‍රමාණය.සංවිධිත වූත් මිනිසා ඥාණනය කිරීම උදෙසාත් වූ වඩා උසස් මානවීය ලක්ෂණයන්ගෙන් හෙබියාවූ සාහිත්‍යකි සිංහල සාහිත්‍ය.එකී සාහිත්‍ය සුපෝෂණය කිරීමට ගත් ව්‍යක්ත වූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සිදත් සඟරා ව්‍යාකරණ ග්‍රන්ථය, සද්ධර්ම රත්නාවලිය,සද්ධර්මාලංකාරය,වැනි ග්‍රන්ථ ඉදිරියෙහි ලා සැලකිය යුතු වන්නේ අනෙකක් නිසා නොව තව දුරටත් සිංහල සාහිත්‍ය උගෙනීමෙහිදී අප අධ්‍යයනය කරන්නේ ඉහත කී පත පොතම බැවිනි.
සාහිත්‍ය යනු මිනිසා ජීවත් කරවන්නකි.මිනිසා යහ මගෙහි යොමු කරවමින් මිනිසාට මඟ නොමග තම චින්තන ශක්තිය තුලින් හෙළි පෙහෙළි කර ගැනීමට ඉඩ හසර වෙන් කරනුයේ සාහිත්‍යයි.තම බුද්ධිමට්ටම කෙතරම් පහත් මට්ටමක පැවතියද සාහිත්‍ය හැදෑරීමේදී මිනිසාට තම නිදහස් බව නිවහල් බව හා මිනිසාගේ මිනිස්කම පිළිබදව යම් කියැවීමකට ඒමට හැකිය.
ධර්මසේන හිමියන් රචනා කරන සද්ධර්ම රත්නාවලිය දහම් ගද්‍ය එවැන්නකි.එය එකල මිනිසාට ඉතා සරල බස් වහරක් හා උපමා උපමේයන් භාවිත කරමින් උන් වහන්සේ රචනා කරන්නේ අහිංසක සැදැහැවතුන්ගේ දැනුවත් බාවය පිණිසමය. අති සෞන්දර්යාත්මක චින්තනමය වටපිටාවක් මිනිසා ඉදිරිපිට මවා පාමින් තම සාහිත්‍ය කාර්යෙහි නියැලීම එකළ සාහිත්‍යයේ යෙදුන යතිවර පරපුරේ විශේෂත්වයකි.

සාහිත්‍ය යුග වශයෙන් හැදෑරීමේදී එම යුගවල ඉදිරියෙන්ම සිටිනුයේද භික්ෂු සංස්ථාවයි.එසේම ගිහි පරපුරේ සාහිත්‍ය කෘතීන් වලටද බහුල වශයෙන් උන් වහන්සේලාගේ සාහිත්‍යයේ ලක්ෂණ පිළිඹුබු වීම මෙහිදී කැපී පෙනෙන්කි."ගද්‍යය සාහිත්‍යයේදීත් පද්‍ය සාහිත්‍යයේදීත් එකළ සුවිශේෂීත්වය වූයේ ⁣බුදු සිරිත වැනීමය.බුදුන් වහන්සේගේ ගිහි කාලය,පැවිදි කාලය තුල කල කී දෑ සාහිත්‍යමය වශයෙන් ගොඩනංවාලීම එකල බහුලව සිදු විය.එය සෑම ග්‍රන්ථයකටම ආවේණිකව ඇත්තේ බෞද්ධ භික්ෂුවගේ සාහිත්‍ය මැදිහත්වීමේ ප්‍රබලත්වය නිසාම යැයි කිව හැකිය.
ලාංකේය සංදේශ සාහිත්‍ය ඉතිහාසය හැදෑරීමේදී ඉදිරියෙන්ම පවතින සැළලිහිණි සංදේශය අප සිත් තුල සදා අමරණීයත්වයෙන් පවතින සංදේශ කාව්‍යකි.එහි නිර්මාණකරු වන්නේ තොටගමුවේ සිරි රාහුල හිමියන්ය.තවද තොටගමුවේ හිමියන්ගේ වටා ගෙතුනු සාහිත්‍ය ප්‍රබන්ධයන්ද,ඒ හා විශාල සාහිත්‍ය ප්‍රබන්ධයක් උන් වහන්සේ වටා ගෙතීමට මූලිකත්වය ලැබී ඇත්තේ සාහිත්‍ය හා භික්ෂුව අතර පැවති අවියෝජනීය බැදීම නිසාමය.
වෑත්තෑවේ හිමියන්,වීදාගම හිමියන් වැනි සාහිත යතිවර පරපුර පිළිබද අප වැඩියෙන් කතා නොකල යුතුය.මන්ද උන් වහන්සේලාගේ සාහිත්‍ය පිළිබඳව වැඩි වශයෙන් කතා වී ඇත.එසේම උන් වහන්සේලා එකළ තම අබිමතය පරිදි ගොඩනැගූ මතයන් නූතනය තුල බිදවැටෙමින් පවතින බවද කිව යුතුය.

නූතන සාහිත්‍ය යතුවර පරපුර(අප කතා කලයුතු සාහිත්‍ය පරපුර) එනම් යක්කඩුවේ ප්‍රඥාරාම වැනි වියත් පරපුර යම් සමාජ පෙරලියක් උදෙසා කැප වූ යතිවර පරපුර බව කිව යුතුය.

"හුදු ප්‍රශස්ති වැනුම් ආදියෙන් තොර වී මිනිසාට හිතන්නට යමක් හුරු කල සඟ පරපුර මා ඉතා ඉහලින්ම සලකමි.මන්ද? අද සමාජය බුද්ධියේ අනුගාමිකයන්ය.ඔවුන් වටහාගන්නා වූ සාහිත්‍ය බුද්ධිය මිසක අනෙකක් නොවේ."
යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් රචනා කරන "වන කතා " නම් සාහිත්‍ය කෘතිය සංස්කෘත සාහිත්‍යයේ එන පඤ්චතන්ත්‍ර නම් චම්පු කාව්‍යයේ අනුවර්තනයකි.සමාජයේ විශම ක්‍රියාවලීන් තුල ඇති පුහු බව නිරර්ථක ක්‍රියාවන් නිර්දය ලෙසත් සාහිත්‍යට වඩාත් උචිත සෞන්දර්යාත්මක සංසිද්ධීන් තුලින් විවරණය කරන්නේ උන් වහන්සේය.

එසේම වල්පොල රාහුල හිමියන්ගේ සත්‍යෝදය,භික්ෂුවගේ උරුමය වැනි උසස් සාහිත්‍ය කෘතීන් මිනිසාට සිතන්නට යමක් හුරු කරවන්නේය.
එතැන් පටන් මේ දක්වා වන සාහිත්‍යයේ පැවැත්ම තුල වැදගත් උත්සාහයන් කරමින් නව කතාව, කෙටි කතාව , කවිය ,යන මේ සියළු සාහිත්‍ය කාරණාවලට බලපෑමක් එල්ල කරන සඟ පරපුරේ වියත් හිමිවරු ගණනාවකි
"වීරපොකුණේ උපරතන" හිමියන්ගේ කෘතීන් සැඟවී ගොස් අවසන්ය. 1960 ගන්වලදී සාහිත්‍ය රාජ්‍ය සම්මාන පවා හිමිකරගත් උන්වහන්සේගේ "මං"නමැති නව කතාව අතීශයින්ම ව්‍යක්තය විශාරදය.උන්වහන්සේලාගේ සාහිත්‍ය අධ්‍යයනය නොකිරීමේ පලවිපාක වර්ථමාන සාහිත්‍ය පරපුර විදිමින් සිටියි යනු මගේ හැඟීමයි.
කෝ.ආනන්ද හිමියන්ගේ සාහිත්‍ය භාවිතය නව පරපුරක් බිහිකිරීමට අනුබල දුන් බව නොරහසකි.උන් වහන්සේගේ නව කතා,කවි ඉතා රසවත් සේම වත්මන් පරපුර පල සහිත සාහිත්‍යක උරුමක්කාරයන් බවට පත්කලේ උන්වහන්සේ බව සදහන් කිරීම යුතුකමකි.
ඉන්පසු සාහිත්‍ය බාවිතය තුල නිමග්න වෙමින් කතා කල හැකි සාහිත්‍යමය වටපිටාවක් ගොඩ නගන්නේ බටුවන්ගල රාහුල හිමියන්ය.උන්වහන්සේගේ රාජ්‍ය සම්මාන ලත් නවකතාවක් වන රන් කරඩුවත්,ප්‍රභානී නවකතාවත් මා ආස කරන වර්ගයේ කෘතීන්ය.එසේම "උපන් ලපය "වැනි කෙටි කතා සංග්‍රහත් "අඩසිය කව් ගත"වැනි සාහිත්‍ය කෘතීන් වලින් හෙලි වන්නේ යතිවර සඟ පරපුර සාහිත්‍ය වෙනුවෙන් පෙනී සිටි තැන්ය.

ශ්‍රී ලාංකේය සාහිත්‍ය සඳහා සෑම යුගයකදීම නොනිමි මෙහෙවරක නිරත වූ සඟ පරපුරේ අතිවිශාල සාහිත්‍ය කෘතීන් ගොන්නක් අත්පිට තබාගෙන සිටීමට ශ්‍රී ලංකාවාසීන් වාසනාවන්තයන්ය.
උන්වහන්සේලාගේ සාහිත්‍ය මෙහෙවර ඇගයුම් කල යුතුය.
පඬුපෙව් කසාවතක රැදිය යුත්තේ ප්‍රේමයය,දයාවය,අනුකම්පාවය,සාහිත්‍ය යනු ප්‍රේමයය,දයාවය,අනුකම්පාවය,සිව්රත් සාහිත්‍යත් අතර පවතින අවියෝජනීය වූත් අව්‍යාජ වූත් බැදීම සදාකාලිකය.

ගුරුගොඩ සිරිවිමල හිමි

ප.ලි මෙහිම දිගුවක් ඉදිරියට.....බලාපොරොත්තු වන්න....

Tuesday, July 4, 2017

අතින් අත ගෙන...........



සත්තකින්ම ගේය පදයක් යනු කුමක්ද?
ගේය පදයක පූර්ණිකාව වන්නේ ශබ්ධ සංධ්වනියක් සහ වාද්‍ය සංධ්වනියක් එක් වූ කලමැයි. ගේය මාලාවකට නිකම්ම නැගී සිටිය නොහැකිය.ගේය පද මාලාවක සුවිශේෂීත්වයද වන්නේ එයමය.ගේය පදමාලාවක් අර්ථ පූර්ණ වන්නේ ඒ සඳහා නිරවුල් තනු මාලාවක් ගෙතුනු පසුවය.එසේනම් ගීතයක් සහසුද්යෙන්ම මිනිස් සිත් තුල සංතර්පනය කරලීමට හැකියාව ඇත්තේ..තනු නිර්මාණකයා,පද රචකයා සහ ගයන්නා යන තිදෙනාටමය. ඒ තිදෙනාගේම සුවදායි ඒකතුව තුලින් ලෝකයක් සතපවන්නට හැකි බව මා තරයේ විශ්වාස කරමි.
"අතින් අත ගෙන" ගේය පද සංකල්පනාව කෙලෙස කොයි ලෙසකින් දර්ශන වික්‍රමතුංගයන්  සහ ඉශංකා අතට පත් වන්නේදැයි මා නොදනිමි. කෙසේ හෝ වේවා මෙය මා අතට පත්වන්නේනම් දර්ශන වික්‍රමතුංගයන්ගේ. යූ ටියුබ් චැනලයෙනි.  මම ඔහුගේ යූටියුබය නිතර පිරික්සීමට ලක් කරන්නේ ඒ තුල නිතරම නවකයන්ගේ ගීත නිතරම උඩුගත කරන නිසාවෙන්මය. හදවතට දැනුනද නොදැනුනද කිසිදු විමසීමකින් තොරව ඒවා බාගත කරගෙන නිදහස් හා පහසු වේලාවක අධ්‍යයනය සදහාත් රසවින්දනය සදහාත් ශ්‍රවණය කිරීම මාගේ පුරුද්දකි.රසවින්දන හා අධ්‍යයන මොහොතක මා අතට සවන් පත් වන මේ ගීයනම් අපූර්වතම ඒකකි.
සිංහල ගීත සාහිත්‍යයේ අපූර්වතම අවස්ථාවන්හිදී  ම'හද ගැසෙන කෝන්වැවේ හිමියන් මේ ගීතය ලියා තිබින.මේ නිර්මාණශීලී පද රචනාව ගේය සිත්මක් කරන්නේ දර්ශන වික්‍රමතුංගයන්ය.ඒ මගින් සුසැදි ගේය පද සිත්තමට පණක් ලබ දෙන්නේ ඉශංකා අධිකාරී නැමැති සොදුරු හඩයි.
         
පහත සදහන මා  ඒ ගීය රසිකයෙකු ලෙස රසවිදි අයුරුයි.

මේ ගේය පද සිතුවම නම් ඉතා සරළ සුභාවිත ගී කොටසට වැටෙන්නකි.නමුදු සුළු පටු නොවන්නකි.
ගේය පද මාලාව තුලින් ගම්‍ය වන්නේ ඉතා සුළඹ කරුණකි. ඒනම් විරහවයි. වත්මන වන විට ගෙවී යන්නේ ගීත සාහිත්‍යේ විරහ සමය යැයි පැවසුවහොත් මා වඩා නිවැරදිය. නමුත් ප්‍රශ්නයක් අැත. ඒ බිහිවන සියල්ලම ගීත මද? ගේය පද මද? ඒයනම් ඉතා ප්‍රශ්නකාරීය.
ගේය පදයක් යනු සාහිත්‍ය කාරණාවකි.පද දෙක තුනක් යාප්පුවෙන් ගැට ගසා ගත් පමනින් ඒය ගේය පද රචනාවක් නාෙවන්නේමය.අරුත් බර  නොවූ ගීයක් තුළ සෞන්දර්යාත්මකවූත් අසා සිටිය හැකි සංගීත නිර්මාණයකින් සමත් විය යුතුය.නොඒසේනම් ඒය අර්ථ පූර්ණ වූත් ගේය පදයක්ම විය යුතුය.අර්ථ පූර්ණ වූත් ශබ්ධ පූර්ණ වූත් රස භාව පූර්ණ ගේය පදයක් නම් ඒය ශාස්ත්‍රීය මට්ටමෙහි ලා ගැනිය හැකිය. මේ මගේ බෙදීමයි.ඔබද  මේ සදහනට යටි සිතින් හෝ ඒකග වන බව මා දනිමි.
මේ ගීය විරහ ගී අතර සුවිශේෂී වන්නේ ඉහත කාරණාව නිසාවෙනි.මෙය ශබ්ධාර්ථ පූර්ණ වූ ගේය පදයකි.
                                
     
පද රචකයාට මේ ගීය සදහා අනුභූතිය වන්නේ විවාහක යුවලක් අතර අැති වූ යම් ගැටළුකාරී තත්වයකි.තම සැමියාගේ වෙන්වීම පදනම් කරගෙන ඒ තුලින් හිත හදාගැනීමට උත්සාහ දරන බිරිදක් මේ ගීතය තුලින් මා නිරන්තරව දකිමි.
අතිනත ගෙන ජීවිතයේ තමන් සමග ගෙවූ අසීමාන්තික ලෝකයත් ප්‍රේමය තුලින් අාධ්‍යාත්මය හා බැදුනු සිහින ලෝකයත් මේ වන විට සිහිනයක් වී හමාරය.නමුදු මෙය තුලින් විවාහක ජීවිතයක් ගම්‍ය නොවේ.ගීතයේ මුල් කොටස හා මැද කොටසින් විවාහය පිලිබද යම් යම් හෝඩුවාවන් දුන්නද මෙම ගීතය බැලූ බැල්මට යමෙකුට පෙනෙන්නේ අාදරවන්තයන් දෙදෙනකු අතර වන විරසකයක් ලෙසය.නමුත් අප තේරුම් ගත යුතු සත්‍ය වන්නේ අාදරය හා අාදරවන්තයන් දෙදෙනකු විවාහ වූ පසු අැති වන තත්වයයි‍.මෙය තෙරුම් යෑමට මේ ගීතය තුල දී අැති ඉගිය ලෙස මා දකින්නේ   "අතින් අත ගෙන අැවිද ගිය මග,සිතින් සිත බැද මැවූ ලෝකය" යන කොටස් දෙකයි.මන්ද යත් මා විශ්වාස කරන අයුරින් දෙදෙනෙකු අතින් අත සහ සිතින් සිත බැද සිහින මවන්නේ විවාහයෙන් පසුවය.විවාහ වන තුරුම දෙදෙනෙකුට අැත්තේ අාධ්‍යාත්මික කොටසක් පමණය.භෞතිකව හමු වන්නේ විවාහයෙන් පසුවය.


මේ මා ඉහත කී කාරණය වඩාත් තිව්‍ර වන මොහොතයි.විවාහ වී දෙදෙනා අතර අල්ලාප සල්ලාප ගහ බැන ගැනීම් අාදරය ජීවිතය යන කිසිදු අවස්ථාවක තමාට තමා හෝ අනෙකාව හදුනා ගැනීමේ උවමනාව ඉතාමත් අල්පය.නමුත් ඒක්ව සිට වෙන් වූ දිනයේ පටන් ඉන් පසු දවස් වලදී හිටියානම් හොදයි හෝ නෙහිටියානම් හොදයි යැයි දෙදෙනෙකුට සිතිය හැකිය. මෙහි ඒන පෙම්වතියද පවසන්නේ තමා හා දිගු දුරක් ගිය සැමියා ඒ සිටිය කාලය තුල හදුනාගැනීමට තමන් අපොහොසත් වූ බවත් තමන්ගෙන් වෙන් වූ පසුව සැමියාව හදුනාගැනීමට හැකි වූ බවත්ය.
රචකයා අවසන පෙම්වතිය හිත හදාගන්නා අයුරු පැහැදිලිි කරන අයුරු අපූරුය.


දිනෙන් දින ගෙවුන මුත් අප දෙදෙනාටම මේ වෙන් වී යාම ස්වභාවයෙන්ම උරුමය.මේ ලෝකෙයෙන් හෝ අප දෙදෙනාටම සිත හදා ගැනීමේ මාර්ගයක් කියා දෙන්නේ නැත.රචකයා "හිරු සදුත් ඇත ගොළුවී" යන්නෙන් පෙන්වා දෙන්නේ ඒයයි. සැමියාණ ඉතින්, අප දුක් වී පලක් නොමැත මේ අපට පෙනෙන මුසාව අප පසු කර යා යුතුය. යන්න බිරිය පවසයි. අප අපේම ලෝකයක තනිවී අපේ ජීවිතය හදා ගැනීමේ මාර්ගය සොයා ගත යුතුමයි යන්න පැහැදිලි කරවයි.
මේ ගීතයේ ඒන අපූර්වත්වය වන්නේ විරහව පෙන්වා යටි අරුත් මගින් අාදරය පෙන්වීමයි.
මේ ගීය නම් , විවාහක ජීවීන්ගේ ගීතයි.තමා තුල අැති ගැටළුකාරී තත්වයන් තමා තුලින් විසදා ගත යුතුව අැත.ඒවිට ඒ යුවලට තමාත් ඉදිරියත් යහපත්ව වටහා ගැනීමට හැකිය.‍

පද වැල ලිහා ඒව වඩාත් සුමට කොට භාවනාවක් වැනි පද සංයෝජනයක් යෝජනා කරමින් ලයාන්විත කරන්නේ දර්ශනයන්ය.අැත්තෙන්ම පුද්ගලයකු ක්ෂේත්‍රය තුල ප්‍රවීනයකු කරන්නේ ඔහු ක්ෂේත්‍රයට අැතුලත් වූ කාල පරාසය නොවේ.ඒ අංශය තුලින් ඔහු හෙළි කර පෙන්වන ඔහුගේ හැකියාවයි.දර්ශනයන්ද ප්‍රවීනයෙකු බව මා පවසන්නේ ඒ නිසාවෙනි. මේ සදහා ඔහු යොදන තනුවත් සංගීතයත් මධුරය,මනෝහරය,
මේ ගේය පද රචනාවට පන පොවන ඉෂංකා ද ඉතා මියුරු ලෙසත් කන්කළු ලෙසත් සිත් සතන් සන්තර්පනය කරවයි.
" මෙවන් ගී අවැසි මොහොතක මෙවන් ගී ලබා දිය යුතුමය"
කෝන්වැවේ අරියරතන හිමි

දර්ශන වික්‍රමතුංග

ඉෂංතා අධිකාරී
ගීතය රසවිදින්න මෙතන ක්ලික් කරන්න......



ගුරුගොඩ සිරිවිමල හිමි.

















              
    
               


Wednesday, June 28, 2017

මට ඔබව දැනෙන තැන

කවියක් නම් හුදු වාග් මාලාවක් පමණමද ‍‍‍?කවිය හුරුබුහිටිය විටෙක සියුමැලිය....විටෙක ස්වභාවයෙන්ම රලුය..  කවියක් පුද්ගලානුරෑපීය...ඒය ඒකිනෙකා රසවිදින අයුරු වෙනස්ය. මේ වසන්ත ප්‍රදීප් හෙට්ටිඅාරච්චිගේ කවියාව මා රස වින්දනය කල අයුරැයි........

"මට ඹබව දැනෙන තැන" ඹහුගේ කුළුදුල් කාව්‍ය ග්‍රන්ථය වන අතර අාධුනික කවි අංකුර අතර ඹහුට සුවිශේෂීත්වයක ලා අපට හැදින්විය හැකි වන්නේ ඹහුගේ රස භාව පූර්ණ කවි මල් සුවද විදි පසුවය.

කාව්‍ය සංග්‍රහයේ පසු වදන සපයන  සදුන් ප්‍රියංකර විතානගේ පවසන පරිදි මේ  පොතෙහි සටහන් වන කවි නම් අපේක්ෂා දල්වා ලිය හැකි අාකාරයේ කවිය. කවියෙකු නම් ඹහුට කෙලවිය යුතුය. නමුත් ඹහු කවිද ලිවිය යුතු යැයි මම බෙනාගේ කොටසේ අැදයක්  සොයා ඒය නිවැරදි කරමි. මන්ද යත් ? මෙය බෙනාට කලිං කියන්නේ "යක්කඩුවේ නායක හාමුදුරුවෝම බැවිනි.
           
                        වසන්තගේ කවිද ඉතා සියුම්ය...ඒවා වටා සුළං ධාරාවන්ද සුලි කුණාටුද බෙහෙවින් අැත. "වදින ඒකෙකුට වැදියන්" ලියූ කවිද අැත. කෙසේ වෙතත් මේ සියල්ලක්ම පාහේ කවිම බැව් සහෘදයෙකු ලෙස මා පවසමි...
ඹහුගේ කාව්‍ය සංග්‍රහය රස කවි පංති තිස් තුනකින් (33) සමන්විතය. මින් ඉදිරියට ලියැවෙන්නේ  මා හද බැද ගත් කවි කිහිපයක් පිළීබදව විවරණයකි.

කවියා සැබැවින්ම නිහඩ වූත් නොනිල වූත් දේශපාලකයෙකි. ඔහු නිබදවම සහෘදයා තමා අබියස ඒක රාශී  කොට විප්ලවයේ  දේශපාලන කතාව දිග් ගස්සමින් සිටියි. ඔහු සමාජ ශෝදනය වුදෙසා බැදී අැත්තෙකි. වසන්ත ප්‍රදීප් කවියාද යම් සමාජ  ශෝදනයක් උදෙසා සිතේ අැදගත් සැලැස්මක් අනුව කවි ලිවීමෙහි නිරත වෙයි. නමුත් ඒවා බැළු බැල්මට සහෘද මනසට ගෝචර  නොවන්නේය. වරෙක අාදරණීව වූ ඔහුගේ කවි බස ඉදිරියේ පලක් බැද බව්න් වැඩිය හැකි බවක් මුලු කවි පොත පුරාම විසිරී පවතී.

                                     "දහදියෙන් පෙලි ළැම මුදුන් 
                                       තුඩුදෙනා බව කිරි බරින් 
                                       නොහැගුණා  ලෙස ගසාවී දළ
                                       සියොලගම ම විස ඝෙර සපුන්"
                                         
                                       මෝදු වන තණ කැකුළු මල් 
                                       සිහින අැහිදින දියණියන්
                                       දුටොත් තොල කට තෙමාවී 
                                       ටැබා ගහනා මලණුවන්""
                                                                        ( - සොදුර.....චාරා.... -)

කවිනම් රසය  අාත්මය  කොට ගත් වැකියකි .  ඒය වඩා රසවත් වන්නේ බස මටසිලිටිව තම නිර්මාණ කාර්ය සදහා බාවිත  කෙරීමෙනි .ස්වභාව සෞන්දර්යය  භාවිතයට  ගෙන නිර්මාණය සමාජයට මුදා හැරීම තුලින්  කොතරම් පීඩනයක් වුවද සමාජය විසින් බාර ගන්නේ අාදරයෙනි. 
                                          
කවියකු විසින් හෝ වෙනත් ඹ්නෑම නිර්මාණකාරයකු තම අනුභූතියට අදාලව ස්වභාව සෞන්දර්යය විශය කරගන්නවානම් ඒය කෙතරම් රසවත් වේවිද? ඹබ ම සිතා බලන්න.

ඉහත සදහන් වන කවියද ඒවැන්නකි.කවියා සොදුරු චාරා පද්‍ය පංතිය තුලින් අපට නැවත මතක් කර දෙන්නේ පටාචාරා වහන්දෑගේ කතා වස්තුවයි.නමුත් මෙය හාත්පසින්ම වෙනස්ය , කාල්පනිකය නමුදු සහෘදයාගේ රසවින්දනයට කිසිදු බාධාවක් නොකරයි. කවියෙකුගේ වටිනාකම රැෙදෙනුයේ  ඒතැනය. පරිකල්පනය හරහා කවියා තම මනසින් තේරුම් ගන්නා වූ සිතිවිල්ල සහෘද මනසටද සඵථ කරන්නේ  ඉතා සරලවය.
 නමුදු තත්වයනම් අනෙකකි. ඹහු මෙසේ ලියයි.

                                                      බිලිදු ඒගොඩෙහි 

                                                      තබා ඒන්නට  උවමනා නැති
                                                      ඒක ගගට පාලම් දෙකක් අැති 
                                                      නමුදු අැසිපිය 
                                                      සැලෙන මෙහොතට
                                                      උකුස්සෝ සුරතින්ම උදුරති.
සමාජයේ නිර්මාණය වී අැති තත්වය කවියා විසින්  පෙන්වා දෙන අාකාරය කෙතරම් නම් සංවරද? සෞම්යයද? මෙය මා හද බදින්නේ ඒබැවිනි. ප්‍රථම කවිය වන  විහංගා  ද අපූරුය ඒ කවියේදී  කවියා  දෙදෙනකුගේ ලිංගිකමය හැසීරීම් අවස්ථාවක්  පෙන්වා දෙයි.
                                        
                                                   දෙහද දෙපතුල උපන් ප්‍රේමය 
                                                   අතැන මෙතැනින් නවත්වා
                                                   ඉදිනු බැරි වූ දිනක් අා
                                                   වාං දමමින් ඉතිරුණා
                                                   අැටමිදුලු නහරවැල් 
                                                   සිසාරා......

                                                                     (විහංගා)  

ඒ අවස්ථාවට වැඩියමක් ඒක් කරන කවියා ඒහි යථාර්තය ද ඉතාමත් අලංකාරවත්ව පැහැදිලි කරයි.ඒය ප්‍රශංසනීයය.

                                                 කොල්ලු හා සතකුප්ප වෙදකම

                                                 අන්නාසි ගැට දේද විසදුම
පසුව ලැබෙන අතුරුපල පිලිබදව කතිකාව කවියා කරලියට රැගෙන ඒනුලබන අයුරු අපූරුය. අන්නාසි යනු ගැබිනියකට අකැප අාහාරයකි. ඒය අහරට ගතහොත් ගැබ විනාස වන බව නොරහසකි. මෙවන් දෑ කවියට හාස්‍යකින් තොරව අදාල කර ගැනීම  දක්ෂ කවියකු සතු හැකියාවකි.ඒ කවියට මා හිස නමා අාචාර කරමි.
                                                
                                                      බැරිම තැන 
                                                      හොර දොරටු සායන
                                                      සොයා යන ඒක නවත්වා
                                                      සිතට සැනසුම සදන ඹසුවක් 
                                                      සොයා ගමු අපි විහංගා
 ෙම් විකාර නවත්තල අපි ෙම් දරුවව හදාගමු විහංගා. සිතට සැනසුම යනු ඒකගතාවයකි. ඒ ඒකගතාවය හා  දෙදෙනා ගිවිස ගත් පසු ඒයම සැනසීමකි. කවියාගේ මෙම කවියනම් මා අාසම කරන වර්ගයේ ඒකකි.
                                                       පින්න තෙත ඉහිනා සැදෑවේ 
                                                       හෙමි හෙමින් පොලොවට ළගාවේ
                                                       සුළං අත වියැකෙන පමාවේ
                                                       අහස හා සබැදුම නිමා වේ.
                                                                               - සරුංගල් යළි අැවිත් අහසට -

ජීවිත ධර්මය මොනවට පැහැදිලි කරන කවියකි ඉහත සදහන් වන්නේ. නිස්සාර බවත් අසීමාන්තික අාසාවන් වල අවසානය කුමක්ද යන්න සරුංගලයක් විෂය කරගනිමින් කවියා පෙන්වාදෙන අයුරු සහෘද සිත් අාකර්ශනය කරගරන්මකි. 

අාගමික ස්ථාන වල දැක්වෙන හුදු බව විකාරී බව ඉතා සංයමයෙන් යුතුව උත්ප්‍රාසයට  නංවන කවියක්පො තෙහි විසි අට (28) පිටෙහි මුන ගැසෙයි.

                                                                  සී.සී.ටී.වී. කැමරාවෙ ඉව

                                                                  තුගු පවුරු වාසල් ඉමෙන් පැන
                                                                  කුරා තුහුඔූවෙකුට ඒන්න බැරි සීමා
                                                                  දමා ගත් ජීවිතය මට 
                                                                  හරිම වෙහෙසයි ඛේමා

                                                                                     - ඛේමා මම පාර මාරු වෙන්නම් -



          ඒහිම ඒන මෙකවද අපූරුය.


                                                            මැතිනියාරාමයේ පින් කද

                                                            මියුරු කවි බණ කියන කට හඩ
                                                            "නෝන දැන් හරි පාට වරටිලා..."
                                                             කියන විට 
                                                             අනිත්‍ය මෙනෙහි වෙන්නෙ......කොහොමා

                 ජීවිතය තුල බලාපොරොත්තු අලුත් කර ගැනීමත්  ලාභ සංතුශ්ඨිය තුල හිත හදාගැනීමේ මාර්ගයත්  ගැන කියැවෙන  ඉතින් මේ ජීවිතය මට අැති   කවි පංතිය ඉතා සිත් අැද ගන්නා සුළුය.

                                                      ඒ තරම් ඉස්කෝලෙ ගියෙ නැති 
                                                      අාස වුණ හුග දේ ලැබුනෙ නැති
                                                      ඉල්ල ඉල්ලා අැඩුවේත් නැති
                                                      පොඩි කාලෙ මගෙ ජීවිතේ හැටි
                                                                          බාල කාලයේ හැමදෙයක්ම ඉල්ලා හඩන ඒක බාලයාගේ පුරුද්දය.නමුත් ඒ යම් බාලයෙක් ඒසේ නොවන්නේනම් ඔහු නිතින්ම සුවිශේෂි දරුවෙකි.කවියේදී කවියා අප වෙත ගෙන ඒනු ලබන ජීවන දෘෂ්ඨි කෝණයද ඒවන් බාලයකුගේ වැඩිහිටි කාළයයි. ඒය අතිශයින්ම සුන්දර වූත් රසවත් වූත් අවස්ථාවකි. 
                                              කුලී ගෙදරින් අපේ ඒකකට 
                                               යමු කියා මං අඩන්නේ නැති 
                                               ඒහෙම නැතුවත් හිනාවෙන්නට
                                               ඔයා ගෙන ඒන සතුට මට අැති

                                               හති දමං පාගන්න වෙන්නැති 

                                               රෝද තුනකට ගියෝතින් අැති
                                               වෙසක් කාලෙට  තොරන් බලතැකි
                                               පුංචි ඒකෙකුත් ඉන්න කාලෙදි
                                               බෙහෙත් ගන්නත් අරන් යත හැකි

මේ කවි පෙළ දිගින් දිගටම කියැවීමේදී  පසක්  වෙන කාරණා කිහිපයකි. ඒකක් නම් කථකයාගේ අනාගත සැලසුම්ය.ඒ බව වඩාත් තිව්‍ර වන්නේ  
                                                        පුංචි ඒකෙකුත් ඉන්න කාලෙදි
                                                        බෙහෙත් ගන්නත් අරන් යත හැකි න පෙළිනි.
                                                                       තවද කවිය පුරාම විහිදී අැති දුප්පත් බව සහ සංතුට්ඨික බව ඉතා ගැඹුරු කියැවීමකි. සද්ධා මාර්ගික පාඨකයෙකුට හඩන්නටද , ප්‍රඤා මාර්ගික පාඨකයෙකුට සිතන්නටද නිරායාසයෙන්ම පොළඹවන මෙවන් කාව්‍යානුභූතීන්  ඉතා අගනේමැයි. කවි පංතිය හරහා හිස මතට පතිතවන කුලී නිවෙසක මතක සහ ඒ හරහා කතකයාගේ ජීවිතය වෙත ඒල්ලවන ගැටළුකාරී තත්වයන් පිළිබදවද යම් කියැවීමකට බදුන් කර අැත.
                                               කුලී ගෙදර ම පොඩි මිදුලෙ හරි
                                                පුංචි මල් පදුරක් වවමු අපි
                                                මල් පිපී හිනැහෙන දවසකදි
                                                සමනල්ලු ඒයි පේළි සැදි සැදි

දුප්පත් කම හරහා යම් සතුටකට ඒළැඹී ඒ තුලින්ම ජීවිතය හදාගැනීමේ මාර්ගයට ඒලැඹීමටද හැකිය යන අාකල්පය සමාජගත කරන කවියාගේ මෙම කවිය ඉතා සාධනීයය.


ඉතා රළු වූත් ඉතා මෘදු වූත් මෙහි අඩංගුය.කවියා විටෙක රළු වන්නේත් මෘදු වන්නේත් ස්වකීය පරිකල්පන අභිලාශයන් ශාක්සාත් කරගැනීමේ දැඩි අරමුණිනි.ඒයද ඉතා ප්‍රශංසනීය බැව් සටහන් කිරීමට කැමැත්තෙමි.මුදු ද කොපමණ.....වෙදැගිලිවල හා  වලාකුලකට පෙම් බදින්නී  යන කවි පංතීන් දෙකම ඉහත කී මෘදු කවි ගණයට අයත් වේ.නමුදු ඒ කවි තුලද යම් ගැඹුරක් දැකිය හැකිය.
                                            

                                             හැපිහැපී මග වලා කැටිවල

                                             ඒහෙ මෙහේ විසි වෙවී ඒන විට
                                             සෙමින් ළං වී
                                             රොස් පරොස් වූ වලා රොදකට
                                             කියයි කොදුරා
                                             "පොඩිත්තක් ඉඩ දෙන්න
                                              ඔන්න ඔය මිනිහට"                                                                       -                                                                              වලාකුලකට පෙම් බදින්නී - 
                                               
                                                මුදවනා වෙර දරන මොහොතෙහි
                                                ඒන්නත්ව අැති 
                                                හැගුම් සසැලෙයි
                                                නිහඩ ස්වරයෙන් 
                                                 හඩක් නැග ඒයි
                                                "ඔබට සබැදුන හදක් ලොව ඒයි"                                                                                                                                - මුදු ද කොපමණ වෙදැගිලිවල -
    මෙහි සදැස් රීතිය උපයෝගී කරගනිමින්  යම් පුවතක් තම අනුභූතිය කරමින් නිර්මාණය වන   විධායත නිලධාරියාගේ මරණය  යන මැයෙන් ලියැවුනු කවි පංතිය සහෘද සිත කම්පනය කරවයි.නමුදු කවියාගේ අදක්ෂ බව හෝ නොසැලකිල්ල නිසාදෝ ඒය වඩා අනුවේදනීය වූත් රිදවන්නා වූත් වාග් රටාවකට ඔහු නොඒලඹෙයි.

                                                          බර අවි පහර වැද පැතුමන් බිදුණූ   දිනේ

                                                          කර සවි යළි නැගෙන හැගුමන් සිදුණු  සැණේ 
                                                          පෙර දැඩි නොවුණ හද ගැඹ කෙරුණ  මෙනේ
                                                          බර  අඩි ලකුණු ගගබඩ තව තිබෙනු පෙනේ

                     

                                        බර  අඩි ලකුණු ගගබඩ තව තිබෙනු පෙනේ"    මේ කවි පංතියේ මා සිත් ගත්ම වදන් පෙළ  මේය. මෙවන් රූපී භාෂාවත් මුළු කවි පංතිය පුරා විහිදීගියානම් සහෘදයා වඩා කම්පනයට ලක්වන බව නොරහසකි. නමුදු හැම කවියකින්ම සහෘදයා කම්පණයට හෝ හැඩවීමකට ලක් විය යුතු යැයි නීතියක් හෝ රීතියක් කවි ලොවෙහි නැති වගද මතක් කර සිටිමි.
මට ඔබව දැනෙන තැන " කාව්‍ය සංග්‍රහය අතැඔුලක් සේ ඒක මිටින් ගත් කළ ඒය ඉතාමත් රසවත් වූත් දැකුම්කළු වූත් වියමනකි.සහෘද සිත් මත් කරවන සුළු මෙවියමන යම් ලෙසකින් අැගැයීමකට ලක් කරන්නටත් මා හට කියවන්නටත් ලැබීම මා ලද භාග්‍යක් යැයි මා සලකමි.

 ගුරුගොඩ සිරිවිමල හිමි .

 2017.06.28 දින.